බුදුන් වහන්සේ ලොවට දුන් පණිවිඩය
ලොව සියලු ආගම්වලට ඉහළින් බුදු දහම මතු වන්නේ ඇයි? යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් 1900 මාර්තු 20 වැනිදා සැන්ෆ්රැන්සිස්කෝවේදී ස්වාමි විවේකානන්ද තුමා පැවැත්වූ දේශනයෙන් කොටසකි මේ. හින්දු සාධුවරයකු වූ එතුමා බුදු රජාණන් වහන්සේ මහ ඉහළින් අගය කළේ ය.
ස්වාමි විවේකානන්ද
බුදුන් වහන්සේගේ අනුගාමිකයෝ වනාහි අතිශයින් ම උද්‍යෝගිමත් වූත්, ධර්ම ප්‍රචාරය කෙරෙහි හදවතින් ම ඇලී ගැලී සිටියා වූත් පිරිසක් වූ හ. ස්වකීය පර්ෂද සීමාවට කොටු වී නොසිට දස අත විසිරී පැතිරී ගිය නොයෙක් ආගමික ධර්ම ප්‍රචාරකයන් අතර මුල් තැන හිමි වන්නේ බුදුන් වහන්සේගේ ශ්‍රාවක පිරිසට ය. ඔවුහු අඳුරු අප්‍රකට තිබ්බතය කරා ගියහ. පර්සියාවට, සුළු ආසියාවට මතු නොව බටහිර ලෝකයේ රුසියාව, පෝලන්තය වැනි දුර බැහැර රටවල් කරා ද ගියහ. බුරුමයට, සියමට හා පෙරදිග ඉන්දීය කොදෙව් කරා මෙන් ම ඉන් ඔබ්බට ද ගියහ.
මහා ඇලෙක්සැන්ඩර් රජු දිග් විජයෙහි යෙදෙමින් මධ්‍යධරණි ප්‍රදේශ හා ඉන්දියාව අතර අන්‍යෝන්‍ය සම්බන්ධයක් ඇති කරවූ ඇසිල්ලේ ම එදා ඉන්දියාව සතු ව තිබූ ඥාන සම්භාරය එම මාර්ගය ඔස්සේ ආසියාවේ හා යුරෝපයේ අතිවිශාල ප්‍රදේශ සිසාරා පැතිර ගියේ ය. බෞද්ධ භික්ෂූහු මේ අලුත් ප්‍රදේශවල විසූ ජනතාව අතර සැරි සරමින් ඔවුනට සිය ධර්මය කියා දුන්හ.
ඒ හේතු කොටගෙන, එතෙක් එම ජනතාව බැඳ වෙළාගෙන තිබූ මෝහ තිමිරය මෙන් ම එම මෝහ තිමිරයට පාදක වූ පූජක ආධිපත්‍යය ද හිරු දුටු අඳුරක් සෙයින් අතුරුදන් වී ගියේ ය.
මෙම ධර්ම දූත ව්‍යාපාරය නිසි සේ අවබෝධ කරගැනීමට නම්, ක්‍රිස්තු ධර්මය ද, ක්‍රිස්තූන් වහන්සේගේ සමයෙහි පැවැති යුදෙව් සමාජය ද ගැන පැහැදිලි ව දත යුතුවා සේ ම, බුදුහිමියන් පහළ වූ කාලයේ ඉන්දියාවේ පැවති සමාජ තත්ත්වය ගැන ද, කිතු උපතින් සියවස් හයකට ඉහත හෙවත් ඉන්දියාව සිය ශිෂ්ටාචාරයේ පරිසමාප්තියට පැමිණ සිටි සමයේ පැවති ඉන්දීය සමාජය ගැන ද මැනවින් අවබෝධ කරගැනීම අත්‍යවශ්‍ය ය.
ඉන්දීය ශිෂ්ටාචාරය ගැන අධ්‍යයනයක යෙදෙන ඔබට, එම ශිෂ්ටාචාරය නොයෙක් වර මැරී, යළි ඉපදී තිබෙන සෙයක් දක්නට ලැබෙනු ඇත. ඒ වනාහි ඉන්දීිය ශිෂ්ටාචාරය සතු විශේෂ ලක්ෂණයකි. ලොව බොහෝ මිනිස් වර්ග වරක් නැඟී, කලක් පැවතී, සදහට ම වැඩෙමින් අඛණ්ඩ ව පවතී. ඉන්දියාව, චීනය වැනි සාමකාමී ජාතීහු වරින් වර ඇදවැටුණ ද, යළිත් නැඟී සිටිති. කිසිවිටෙකත් නො මියෙති. අන්‍යයෝ යළිත් නොනැඟිටින්නට ම ඇදවැටෙති. සදහට ම මියයති. ලෝකයෙන් සැබෑ ආස්වාදයක් ලබන්නෝ නම් එවන් සාමකාමීහු ම ය. භාග්‍යවන්තයෝ ද ඔහු ම ය.
පූජකවරු, දෙවියකු ඇතැයි විශ්වාස කළෝ ය. එහෙත් සාමාන්‍ය ජනයාට එම දෙවියා වෙත ළං විය හැක්කේ, ඔහු හඳුනාගත හැක්කේ පූජකවරුන් මගින් ම පමණකි. පූජකවරුන්ගෙන් ලබාගන්නා අවසර පත්‍රයක් පිට මිස ශුද්ධෝත්තම දෙවිඳුන් වෙත ළං වීම ද උගහට ය. ඒ සඳහා ඔවුන් පූජකයාට පඬුරු පාක්කුඩම් පුද කළ යුතු ය. සත්කාර සම්මාන කළ යුතු ය. සර්වස්වය ම කැප කළ යුතු ය. ලෝක ඉතිහාසය පුරා ම මෙම පූජක සංකල්පය - මෙම කුරිරු බලකාමය – විටින් විට හිස ඔසවා තිබෙනු අපට දක්නට ලැබේ. එය මිනිස් ගතියට ආවේණික අංගයක් සේ ය.
පූජක ආධිපත්‍යයෙන් ඔබට බේරුමක් නැත. ඔවුහු ඔබ දහසකුත් එකක් නීතිවලින් බැඳ තබති. සරල සත්‍යයක් වුව ද ඔවුහු ඔබට කෙළින් නො කියති; වක්‍රෝක්තියෙන් ම කියති; නොයෙක් කතා කියා දෙති. ඒ සියල්ලෙහි එක ම අරමුණ තමන්ගේ මහන්තත්වය රැකගැනීම මිස අනෙකක් නො වේ. ඉහාත්මයේදී සැප සම්පත් දිනාගැනීම, මරණින් මතු සග සැපත් ලබාගැනීම ඔබට තනි ව ම කළ නොහැකි ය. ඒ සඳහා පූජකයන්ගේ මැදිහත් වීම නැති ව ම බැරි ය. නොයෙක් වත් පිළිවෙත් පුදපූජා පැවැත්විය යුතු ය. සැකෙවින් කිව හොත්, මේ සියල්ල ම නිසා ඔබේ මොළය අවුල් වී ඇත. එහෙයින් ම මා ඔබට සරල සත්‍යයක් කිව ද, එයින් ඔබ සෑහීමට පත් නො වෙති. ඔබ ආපසු ගෙදර යන්නේ සෑහීමට පත් නොවූ අවුල් වූ මනසකි. පැහැදිලි අවබෝධය අඩු වූ තරමට ඔබට මහත් පහසුවක් දැනේ! පූජකයන්ගේ දුර්මතවලින් කූටෝපක්‍රමවලින් පරිස්සම් වන ලෙස ශාස්තෘවරු ඔබට කොතෙකුත් අවවාද දෙති. එහෙත් වැඩි දෙනෙක් එම අවවාදවලට නොනැමෙති. සැබෑ අවබෝධය තවමත් ඔවුන් කෙරෙත් බොහෝ ඈත් ය.
මිනිසුන්ට සැබෑ අවබෝධයක්, උගත්කමක් අවශ්‍ය ය. මෙකල මිනිසුන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන, මිනිසාගේ සමානතාව ගැන නිතර කතා කරති. එහෙත් තමා සෙසු සියල්ලන් හා සම තත්ත්වයේ සිටින බව කෙනකු ප්‍රත්‍යක්ෂ ලෙස දන්නේ කෙසේ ද? ඒ සඳහා ඔහුට හොඳ බුද්ධියක් අවශ්‍ය ය; මනස්ගාතවලින් තොර පැහැදිලි මනසක් අවශ්‍ය ය; සිය මනස වසාගෙන සිටින මිථ්‍යා සංකල්ප රාශිය විනිවිද ගොස් එහි පතුලෙහි රැඳී තිබෙන අධ්‍යාත්මය තුළ ඇති සත්‍යය වෙත ළඟා විය යුතු ය. එවිට, සියලු ප්‍රශස්ත ගුණ, සියලු බල ශක්ති සැඟවී ඇත්තේ තමන් තුළ බව ඔහුට අනාවරණය වේ. ඒ අවබෝධය ලැබුණු කෙණෙහි සිට ඔහුට ස්වාධීනත්වය හා සමානත්වය ප්‍රත්‍යක්ෂ වේ. සෙස්සන් ද තමා මෙන් ම සපරිපූර්ණ බවට, එනිසා ම අන්‍යයන් අබිබවා යනු සඳහා තමා විසින් කායික මානසික හෝ ආධ්‍යාත්මික ශක්තියක් ක්‍රියාත්මක කිරීම අනවශ්‍ය බව ඔහුට අවබෝධ වේ. ඒ සමඟ ම තමාට වඩා පහළ කිසිවකුත් සිට ඇති බවට ඔහු තුළ ඇති මතය සදහට ම ඔහුගෙන් බැහැර වේ. සමානතාව ගැන ඔවුහු කතා කළ හැක්කේ ඉන් පසු ව ය; ඊට කලින් නම් නො වේ.
මේ අයුරින් පූජකවරුන් මහත් යස ඉසුරින් වැඩෙද්දී ම සන්‍යාසීන් නමින් තවත් පිරිසක් ද සිටියහ. සෑම හින්දු භක්තිකයකුª ම ආධ්‍යාත්මික පරිශුද්ධිය ලබාගනු උදෙසා යම් අවස්ථාවකදී සියලු ලෞකික කටයුතු අතහැරපියා මරණය සඳහා සූදානම් විය යුතු ය. සාමාන්‍ය ලෝකය සමඟ තවදුරටත් ඇලී ගැලී සිටීම ඔවුනට අවශ්‍ය නැත. එබැවින් ම ඔවුන් ගෘහ්‍ය ජීවිතය හැර පියා සන්‍යාසීන් විය යුතු ය. පූජකවරුන් විසින් නිර්මාණය කොට තිබෙන පූජා විධි දෙදහස ඔවුනට අවශ්‍ය නැත. කළ යුත්තේ දශාක්ෂර, විංශති අක්ෂර ආදි වූ මන්ත්‍ර ජප කිරීම පමණි. මේ සියල්ල ම අර්ථශූන්‍ය බහුබූත ය!
පැරණි ඉන්දියාවේ විසූ මේ සන්‍යාසි පිරිස් පූජකයන්ගේ විකාර නොපිළිගෙන පිරිසිදු සත්‍යය ප්‍රකාශ කරන්නට පටන් ගත්හ. පූජකවරුන්ගේ බලය බිඳහෙළීමට ඔවුහු යත්න දැරූහ. එහෙත් එම යත්න සාර්ථක වූයේ අල්ප වශයෙනි. පරම්පරා දෙකක් ඉකුත් වන්නටත් පෙර සන්‍යාසීන්ගේ අනුගාමික පිරිස් අනුක්‍රමයෙන් පූජකවරුන්ගේ මිථ්‍යා සංකල්ප හා ගුප්ත ක්‍රියාවන්හි දැඩි ව එල්බ ගනිමින් සන්‍යාසි බව අත්හැර පූජකයන් බවට පත් වූහ. “ඔබට සත්‍යය දැනගත හැක්කේ අපෙන් පමණකි.” ඒ එදා ඔවුන් කී සැටි ය. සත්‍යය යළිත් වරක් වල් වැදී යනු දුටු ශාස්තෘවරු එය යළිත් හෙළිපෙහෙළි කර දක්වන්නට ඉදිරිපත් වූහ. මේ තරගය දිගින් දිගට ම පැවතියේ ය. ඔව්. ශාස්තෘවරයා හෙවත් සැබෑ මිනිසා සිටිය යුතු ම ය. ඔහු නැති තැන මුළු මිනිස් සංහතිය ම නැසී යනු ඇත.
පූජකවරුන්ගේ මේ නොයෙක් ආකාරයේ උපක්‍රම අවශ්‍ය වන්නේ ඇයි දැ යි ඔබට ඇතැම් විට සිතෙනු ඇත. මේ වක්‍ර මාර්ගය අත්හැර කෙළින් ම සත්‍යය කරා යන්නට නොහැක්කේ ඇයි? සත්‍යය නොයෙක් ආකාරයේ පුද පූජාවලින්, යන්ත්‍ර මන්ත්‍රවලින් වසා තබන්නේ ඔබ දෙවියන්ගේ සත්‍යයට එතරම් ම කුලෑටි නිසා ද? දෙවියන් වදාළ සත්‍යය ලෝකයට කියා පාන්නට එතරම් ම මැළි වන්නේ දෙවියන් ගැන ලජ්ජා වන නිසා ද? මෙතැන ඇත්තේ ආගම භක්තිය හා ආධ්‍යාත්මික පරිශුද්ධිය ද? සත්‍යය දැනගැනීම යෝග්‍ය වන්නේ පූජකයන්ට පමණක් ද? සාමාන්‍ය ජනතාව ඊට සුදුස්සෝ නො වෙති! එබැවින් ඔවුනට සත්‍යය මඳක් දියාරු කොට ඉදිරිපත් කළ යුතු ය! කන්ද උඩ දේශනාව සහ භගවද් ගීතාව ගැන සිතා බලන්න. දෙක ම සරල බවේ ප්‍රතිමූර්ති ය. වැඩි උගත්කමක් නැති සාමාන්‍ය මිනිසාට වුව ද ඒවා තේරුම් ගත හැකි ය. කොතරම් අගේ ද? ඒ දෙතැන ම සත්‍යය ඉර හඳ සේ පැහැදිලි ය; සරල ය. එහෙත් එවන් සරල බවක්, පැහැදිලි බවක් පූජකවරුන්ට අනභිමත ය. එබැවින් ම ඔවුහු සත්‍යය ගැන කතා කිරීම පසෙක තබා දෙදහසක් දිව්‍ය ලෝක ගැන, දෙදහසක් අපාය ගැන කතා කරති. දෙව් ලෝ යන්නට නම් ජනතාව පූජකවරුන් පෙන්වන මඟ ඔස්සේ යා යුතු ය! ඒ මඟ නොයන්නෝ කෙළින් ම අපායට යති!
බුදුන් වහන්සේ දවස එවන් මිථ්‍යා මත හිසින් ගත්තෝ ඉන්දියාව පුරා කොතෙකුත් සිටියහ. යන්නමින් හෝ දැනුමක් ලබා ගැනීමෙන් වළක්වනු ලැබූ බොහෝ මිනිස් කොටස් එකල එහි වූ හ. අහම්බෙන්වත් වේද පාඨයක් බමුණන්ගෙන් අන්‍ය වූ යමකුගේ කන වැටුණ හොත් ඒ හේතු කොටගෙන දරුණු වධහිංසාවලට ගොදුරු වන්නට ඔහුට සිදු විය. වේද ග්‍රන්ථවල අන්තර්ගත වූයේ ඉපැරණි හින්දු භක්තිකයන් අනාවරණය කරගත් ආධ්‍යාත්මික සත්‍ය ය. පූජකවරු මේ ආධ්‍යාත්මික සත්‍යය සාමාන්‍ය ජනයාගෙන් වසන් කොට තැබූහ. මේ අසාධාරණය නොඉවසූ එක් පුද්ගලයෙක් අන්තිමේදී ඉදිරිපත් විය. එම බැරෑරුම් කාර්යය සඳහා අවශ්‍ය බුද්ධියත්, බලයත් එසේ ම ඊට නිසි ප්‍රඥාපාටවයකුත්, අනන්තාවකාශය සේ අපරිමිත හදවතකුත් ඔහු සතු විය. අවිද්‍යා අන්ධකාරයේ ගැලී සිටි ජනතාව පූජකවරුන් විසින් තමන් රිසි රිසි අත මෙහෙයවමින් තම තමන් සැප සම්පතින් හා බලයෙන් ආඪ්‍ය වන අයුරු ඔහු දුටුවේය. ඒ අසාධාරණයට නිසි පිළියම් යෙදීම ඔහුගේ එක ම අභිප්‍රාය විය. අන්‍යයකු මැඬගෙන නැගී සිටීම ඔහුගේ අරමුණ නො වී ය. ඔහුට අවශ්‍ය වූයේ මිනිසුන් බැඳි සිටි අවිද්‍යාව නමැති හැකිල්ලෙන් ඔවුන් මුදාගැනීම ය. ඔහුට තිබුණේ පරානුකම්පාවෙන් භරිත හදවතකි. අපට ද හදවත් තිබේ. අන්‍යයන්ට ආධාර කිරීමේ කැමැත්ත ද අපට තිබේ. එහෙත් අන්‍යයන් බැඳි සිටින හැකිළි කඩා බිඳදැමීය හැකි ක්‍රමෝපාය දක්නා නුවණක් අපට නැත. එහෙත් මේ මිනිසා අප වැන්නෙක් නො වී ය. මිනිසා බැඳී සිටි සියලුු ම බන්ධනවලින් ඔහු මුදා ගැනීමේ මඟ එළි පෙහෙළි කර ගැනීමට තරම් තියුණු බුද්ධියක් මේ මිනිසා සතු විය. සත්ත්වයා දුක් විඳින්නේ කුමක් නිසා ද යන්න පමණක් නොව, එම දුකින් මිදිය හැකි මාර්ගය ද හේ තිර කොට අවබෝධ කර ගත්තේ ය; දත යුතු සියල්ල දැනගෙන, ඊට විසඳුම් ද සොයා ගත්තේ ය; තමා දත් දෙය වෙනසක් නොමැති ව හැම දෙනාට ම කියා දුන්නේ ය; අවබෝධ ඥානයෙන් ලද හැකි සුවය විඳගන්නට සැලැස්වූයේ ය. ඒ පුදුම පුද්ගලයා වනාහි අන් අයෙක් නොව බුදුන් වහන්සේ ම ය.
ඔබ හැම ශ්‍රීමත් එඩ්වින් ආර්නෝල්ඩ්ගේ “ඹ්ඪඨඩබ ධට ඒඵඪච” (ආසියාවේ ආලෝකය) නමැති කාව්‍යය කියවා ඇතැයි සිතමි. එසේ නම් බුදුහිමියන් රජ කුමරකු ව උපන් සැටි, දුකෙන් පිරුණු ලොවක මිනිසුන් විඳින දුක් දැක එයින් කම්පිත වූ සැටි, සම්පතින් ආඪ්‍ය ව සිටිය ද ඒ සියල්ල කෙරෙහි කලකිරී සිය බිරිය ද, අලුත උපත් පුත් කුමරුවා ද හැරපියා ගිහි ගෙයින් නික්ම සත්‍යය සොයා නොයෙක් ශාස්තෲන් වෙත ගොස් උගත් සැටි, අන්තිමේදී ස්වෝත්සාහයෙන් සත්‍යය පසක් කොට ගෙන බුද්ධත්වයට පත් වූ සැටි ඔබ මැනවින් දනිති. එසේ ම එතුමන්ගේ දීර්ඝ ධර්ම දූත සේවය, එතුමන්ගේ ශ්‍රාවක පිරිස්, එතුමන් බිහි කළ නොයෙක් සංවිධාන යන මේ සියල්ල ගැන ද ඔබ දනිති.
කාලාන්තරයක් තිස්සේ ඉන්දියාවේ පූජකයන් හා ශාස්තෲන් හා අතරේ පැවති නිරන්තර අරගලයේ අවසාන විජයග්‍රහණය නම් බුදුන් වහන්සේ ය. ඉන්දියාවේ එදා සිටි මේ පූජක පිරිස සතු වූ එක ම එක හොඳක් ගැන ද මෙහිදී සිහිපත් කළ යුතු ය. ඔවුහු කිසි විටෙකත් අන්‍යයන්ගේ ආගම නොරුස්සන්නෝ නො වූ හ; ආගම් විනාශ කරන්නෝ ද නො වූ හ. තමන්ගේ දහමට පටහැණි දහමක් දෙසීම සම්බන්ධයෙන් තහනමක්, විරෝධයක් පාන්නට කිසිවිටෙකත් සැහැසි නො වූ හ; ආගමික මතවාද නිසා කෙනකුට හිංසා කිරීමට තරම් අකාරුණික නො වූ හ. එහෙත් සෙසු සියලු පූජකවරුන් කෙරෙහි මෙන් ම ඔවුන් කෙරෙහි ද එක්තරා දුර්වලතාවක් පැවතියේ ය. එනම් බලකාමය යි. සෙස්සන් මෙන් ම ඔවුහු ද නොයෙක් නීති රීති පනවමින් ආගම අනවශ්‍ය අන්දමින් අවුලට පත් කළහ; එමගින් ස්වකීය අනුගාමිකයන්ගේ භක්තිය කඩා බිඳ දැමූහ.
බුදුන් වහන්සේ පූජකයන් විසින් පොදු ජනතාව මත ආරෝපණය කර තිබුණු එම සීමා බන්ධන සියල්ල සිඳ බිඳ දමමින් පෙර නොඇසූ විරූ ශ්‍රේෂ්ඨ ධර්මයක් දේශනා කළහ; වෛදික දර්ශනයේ සාරය උකහාගෙන සකස් වූ එම ධර්මය කිසිදු විශේෂයකින් තොර ව හැමදෙනාටම කියා දුන්හ. ඒ වනාහි සමානතාව එතුමන් ගරු කළ එක් මූලධර්මයක් වූ නිසා ය. මිනිස්සු හැම දෙන ම එක සමාන අයිතිවාසිකම් ඇත්තෝ ය. විශේෂත්වයක් ලැබිය යුතු කිසිවකුත් නැත. මෙවන් මහා සමානතාවක් ගැන දේශනා කළ මහා ශාස්තෘවරයා නම් බුදුන් වහන්සේ ම ය. ආධ්‍යාත්මික පරිශුද්ධිය සඳහා ස්ත්‍රී පුරුෂ කාටත් එක සමාන අයිතියක් ඇත. උන්වහන්සේගේ ඉගැන්වීම එබඳුය. උන්වහන්සේ පූජකයන් හා සෙසු කුල හා අතර පැවති වෙනස පිටු දැක්කහ. පහත් ම කුලහීනයනට වුව ද අවබෝධ ඥානය ලබාගැනීමට අයිතියක් ඇත. නිර්වාණයේ දොරටුව ඔවුන්ට ද විවෘත ය. උන්වහන්සේගේ මේ ධර්මය ඉන්දියාවට වුවද ඔරොත්තු නොදෙන තරම් විය. වෙනත් කවර ආකාරයේ ධර්මයකින් වුවද නොසැලුණු ඉන්දියාවට බුදුන් වහන්සේගේ මේ ධර්මය දිරවා ගැනීම බොහෝ දුෂ්කර වී නම් ඔබට එය දුෂ්කර වීම ගැන කවර කථාද?
බුදුන් වහන්සේගේ ධර්මය සැකෙවින් මෙසේ ය:
බුදුන් වහන්සේ ඉගැන්වූයේ මේ සත්‍යයයි. එතුමෝ වචනවලට පමණක් සීමා නො වූ හ. ලෝකයා වෙනුවෙන් සිය දිවි පිදීමට පවා එතුªමෝ ඉදිරිපත් වූ හ. තිරිසන් සතකු බිලි දීමෙන් යහපතක් ලබාගත හැකි නම් මිනිසකු බිලි දීමෙන් වඩාත් විශාල යහපතක් සිදු විය යුතු යැ’ යි කියමින් සිය සිරුර බිල්ලක් වශයෙන් පුද කරන්නට පවා බොහෝ ආගම් කර්තෲහු මිනිසුන් පෙලඹූ හ. සතුන් බිලි පුදට දීම තවත් එක් මිථ්‍යා විශ්වාසයකි. දේව සංකල්පය ද එසේ ම ය. දේව සංකල්පය හා ආත්මය ද මෙලොව ඇති ලොකු ම මිථ්‍යා දෙකකි. දෙවියෝ නම් බමුණක් නිර්මාණය කළ මිථ්‍යා සංකල්පයක් පමණි. මේ බමුණන් දේශනා කරන පරිදි දෙවියකු සැබවින් ම සිටී නම් ලෝකය මේ තරම් දුකින් පිරී ඇත්තේ කවර හේතුවක් නිසා ද? දෙවියා ද අප මෙන් ම හේතුඵල ධර්මයට යටත් වන්නෙකි. ඉදින් ඔහු හේතුඵල නියාමයට යටත් නොවන්නෙක් නම් මැවීමෙහි යෙදෙන්නේ ඇයි? එබඳු දෙවියකු ගැන කිසිසේත් ම තෘප්තිමත් විය නොහැකි ය. ස්වර්ගයෙහි රජ කරති යි කියන මේ දෙවියා සිය සිතැඟි පරිදි සමස්ත විශ්වය ම පාලනය කරන අතර, මෙලොව වෙසෙන අප දුකින් මියයනු බලා සිටී. අනුකම්පාවෙන් මෙහොතක්වත් අප දෙස නෙත් යොමා බැලීමට තරම් ළතෙක් බවක් ඔහුට නැත. අපගේ මුළු ජීවිතය එක ම දුක් ගොඩකි. අප විඳින ඒ දඬුවමින් අප මුදා ගැනීමට වත් මේ දෙවියා ඉදිරිපත් නො වේ. මරණින් මතු වෙනත් ආකාරයේ නොයෙක් දඬුවම් ලැබෙන වෙනත් තැන්වලට අප යා යුතු ය. එසේ තිබියදීත් අපි මේ ලෝක නිර්මාතෘ දෙවියා සතුටු කරනු පිණිස අතරක් නැති ව නොයෙක් ආකාරයේ වත් පිළිවෙත් හා පුදපූජා පවත්වමු.
බුදුන් වහන්සේ මෙසේ ද කීහ: ‘මේ පුද පූජා විධි සියල්ල ම වැරදි ය; නිස්සාර ය. ලෝකයේ පවත්නේ එක ම පරම සත්‍යයකි. අවිද්‍යාව සහමුලින් ම දුරු කළ විට සත්‍ය යැයි යම් කිසිවක් ඇත් නම් එය පමණක් ඉතිරි වනු ඇත. වලාකුළු විසිරී ගිය පසු සූර්යයා බබළන්නා සේ ය. මමත්වය නසන්නේ කෙසේ ද? කුරාකුහුඹුවකුගේ හිත සුව පිණිස වුවද සිය ජීවිතය පුද කිරීමට පසුබට නොවන තරමට මමත්වය මුළුමනින් ම බැහැර කිරීමෙන් එම අරමුණ ඉටු කර ගත හැකි ය. ඔබ වීර්ය වැඩිය යුත්තේ නම් මිථ්‍යාවක් උදෙසා නො වේ; දෙවියකු සතුටු කරන්නටත් නො වේ; යම් ප්‍රතිලාභයක් උදෙසා ද නො වේ; හුදෙක් මමත්වය නසා විමුක්තිය ලබා ගැනීම පිණිස ය. වැඳුම් පිදුම් යාච්ඤා සියල්ල නිසරු ය. නිෂ්ඵල ය. ‘දෙවියන්ට ස්තුති වේවා!’ යි ඔබ සියලු දෙන නිතර කියති. එහෙත් දෙවියන් සිටින්නේ කොහි ද? නිසැකයෙන් ම එය ඔබ නො දනිති. එසේ වුවද නොදන්නා එම දෙවියන් ගැන ඔබ උමතුවෙන් මෙන් ක්‍රියා කරන්නාහුය.
හින්දු බැතිමතුන්ට ලොව සියල්ල ම අත්හළ හැකි ය. එහෙත් සිය දෙවියා නම් අත්හළ නොහැකි ය. දෙවියන් ප්‍රතික්ෂේප කිරීම වනාහි සිය භක්තිය සහමුලින්ම කඩා බිඳ දැමීමක් වැනි ය. හින්දු භක්තිකයා දෙවියන්ද දේව භක්තිය ද කරපින්නා ගෙන සිටිය යුතුම ය. ඒවා අත්හැර දැමීමට ඔහුට කවරදාක වත් නොහැකි ය. බුදුන් වහන්සේගේ ඉගැන්වීමෙහි නම් දෙවියකු නැත. ආත්මයක් ද නැත. ඇත්තේ ක්‍රියාව පමණකි. ඒ කුමක් උදෙසා ද? තමා උදෙසා නම් නො වේ. තමා යනු හුදෙක් මායාවක් ම වන බැවිනි. එම මායාව පිටුදැකිය හැකි නම් එවිට අපට අපේ යථා ස්වභාවය දැකීමට හැකි ය. ඒ සා උසස් මානසික තත්ත්වයකට නැගීමට තරම් සමතුන් මෙලොව ඇතොත් ඒ අතළොස්සක් පමණි.
කෙසේ වුවද බුදු හිමියන් දෙසූ මේ ධර්මය වහ වහා දස අත පැතිර ගියේ ය. ඒ අන් කිසිවක් නිසා නොව මානව වර්ගයාගේ ඉතිහාසයේ මුල් වරට සියලු මිනිසුන්ගේ මතු නො ව, සියලු සත්ත්වයන්ගේ ද හිත සුව පිණිස කැප වූ ඒ උත්තරීතර හදවතින් උතුරා ගිය මහා කරුණාව, සියලු සත්ත්වයන් දුකින් මුදාලීම පරම අධ්‍යාශය කොට ගත් මහා කරුණාව නිසා ම ය.
මිනිසා දෙවියන්ට ආදරය කළේ ය; එහෙත් තමාගෙන් අන්‍ය වූ සෙසු මිනිසුන් ගැන අබැටක් තරම් වත් තැකීමක් නො කළේ ය. දෙවියන්ගේ නාමයෙන් සිය ජීවිතය පවා පුද කිරීමට පසුබට නොවන මිනිසා ම ඒ දෙවියන්ගේ නාමයෙන් තවත් මිනිසකු මැරීමට තරම් සැහැසි විය. එදා පැවති ලෝකය එසේ විය. දෙවියන්ගේ මහිමය උදෙසා පුතා බිලිදීමට ද ජාතීන් කොල්ලකෑමට ද ඇතැම්හු පෙලඹුණහ; දෙවියන්ගේ මහිමය උදෙසා සිය සහෝදර ජනතාව දහස් ගණනින් මරා දැමීමට ද, මහ පොළොව ලෙයින් තෙත් කිරීමට ද ඉදිරිපත් වූහ. ඒ දෙවියන්ගෙන් අන්‍යතර වූ දෙවියා කෙරෙහි, එනම් මිනිසා කෙරෙහි, මිනිසාගේ අවධානය යොමු වන්නට පටන් ගත්තේ බුදුසමයත් සමඟ ය. ආදරය කළ යුත්තේ, මෛත්‍රී කළ යුත්තේ ඒ දෙවියාට නොව මේ මිනිසාට ය. සමස්ත මිනිස් වර්ගයා කෙරෙහි මහා කරුණා ප්‍ර‍්‍රවාහයක් ප්‍රථම වරට ගලා ගියේ ද ඒ සමඟ ය. සත්‍ය වූද, සුපරිශුද්ධ වූද ප්‍රථම ප්‍රඥා ප්‍රවාහය නම් එය යි. ඉන්දියාවෙන් ආරම්භ වූ මේ ප්‍රඥා ප්‍රවාහය කෙමෙන් රටින් රටට ද සිව් දිශාවන්ට ද ඉතිරි පැතිරී ගියේ ය.
No comments:
Post a Comment